අලුත් අදහස්

බ්රිස්බන් ලාංකිකයන්ට පළමු වරට සුරාජ් හමුවුනේ මැයි මාසේ මැදදී. රාජකාරි වැඩකට බ්රිස්බන් එන්න සිද්ධවෙන බව දැනගත් වහාම සුරාජ් මට ටෙලිග්රෑම් එකක් එව්වා. නගරයේ හෝටලයක රෑ දෙකක් නවතින සුරාජ් එක රැයක් මගෙ නවාතැනේ නවතින්න එකඟවුනා.

සුරාජ් බ්රිස්බන් එන්න දවස් තුනකට ඉස්සර මම නීලයි මලිකුයි එක්ක ඒ ගැන කතාවුනා.

“මේ පනිවිඩේ තියෙන්නේ එන බදාදා එනවා කියලා - ඉන්නේ කැන්බරා හෝටලේ. බ්රහස්පතින්දයි සිකුරාදයි වැඩ වැඩියිලු - රෑ මීටිමුත් එක්ක… මම එයාට ඉන්වයිට් කරා සිකුරාදා රෑ මෙහෙ ඉඳලා යන්න”

“සුරාජ් කැමති වුනාද?”

“තවම උත්තරයක් නෑ… හැබැයි මං හිතන්නේ එයි…”

“අපි විශේෂ මොකවත් කරනවද? මං කියන්නේ රෑට කෑම ඇරුනුකොට?”

නීලගෙ ප්රශ්නෙට මම උත්තර දුන්නේ ටිකක් හිතලා.

“පනස් ගණන්වල මෙහෙ ආපු කෙනෙකුට අපි ආයෙ මොනවද දෙන්නේ? සුරාජ්ට අපිට වගේ සල්ලි ප්රශ්නයක් නෑ… රටක් නැති ප්රශ්නෙකුත් නෑ… මං හිතන්නේ අපිට පුළුවන් එකම දේ හොඳ ලංකාවේ කෑම වේලක් දෙන්න… ගෙදරට පෘතුගීසි සුරාජ්ට එහෙම කෑම වැඩිය හම්බවෙන්නෙ නැතුව ඇති!”

අපි හිතපු විදිහටම සුරාජ්ට ලංකා කෑම හොඳටම අල්ලලා ගියා. ‘අවුරුදු විස්සකට පස්සේ ගමේ ගියා වගේ!’ සුරාජ් කීවේ නැවතත් පොල් සම්බල් බෙදා ගනිමින්. වෙන දෙන්න දෙයක් නැති අපි තුන්දෙනාට එක ලොකු සතුටක්.

කෑමෙන් පස්සේ සුරාජ් කතාව පටන්ගත්තේ අපේ බ්රිස්බන් කන්ඩායමේ වැඩ වර්ණනා කිරීමෙන් අනතුරුවයි.

“ඔය තුන්දෙනාට නිදිමත නැත්නම්, මම කැමතියි ‘බ්රිස්බන් කතාව’ අහගන්න මුල ඉඳන්…”

මුහුණට මුහුණු හමුවීමේදී ටෙලිකොන්ෆරන්ස් වල වගේ කාලය සීමිත නෑ. ඒ නිසා මම කතාව පටන්ගත්තේ පීටර් සංවිධාන කරපු මගේ සමුගැනීමේ පාටියෙන්. මගේ කතාවට අවශ්ය විදිහට නීලත් මලිකුත් විස්තර එකතු කරා. අපි සැපයූ විස්තරය පොතක ලිවීමට තරම් පැහැදිලි බවයි මට දැනුනේ. සුරාජුත් එහෙම හිතුව බව එයාගෙ කතාවෙන් මට දැනුනා.

“තැන්ක්යූ… තුන්දෙනා දීපු විස්තර නියමයි. මට දැන් වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් මේ අය විඳපු විඳීම. මම අනුලා බෝගොඩගෙන් එයාගෙ කතාව ඇහුවා - නමුත් මේ තුන්දෙනා වගේ සිද්ධවෙලා තියෙන ආපදාව ගැන ගැඹුරට තොරතුරු හොයන්න තනියම ඉන්න අනුලට අමාරුයි… ලංකා කවයේ බ්රිස්බන් සාමාජිකයෝ තමා පටන්ගත්ත දවසේ ඉඳන් තර්කානුකූලව හිතලා තොරතුරු එකතු කරලා තියෙන්නේ… ඒකට මුළු ලංකා කවය විතරක් නෙවෙයි අනික් දූපත් කවයනුත් ස්තුතිවන්ත වෙනවා…”

සුරාජ් අපි තුන්දෙනා දිහා විනාඩියක් බලාගෙන හිටියේ කිසිත් නොකියා. අන්තිමට කතාකළේ බැල්කනියට පිටින් ඇති අඳුරු රෑ දිහා බලාගෙන.

“මම ඊලඟට කියන දේ ගැන තරහ ගන්න එපා… ප්ලීස්?... මම දන්නෙ නෑ මේ අයගෙ ආර්ථික පිහිටීම ගැන… ඒ ගැන අහන්නෙත් නෑ. නමුත් මම දන්නවා අමතර වියදම් අඩුවෙන තරමට ජීවිතේ පහසු බව… ඒ නිසා මම බැංකු ගිනුමක් ඇරියා කොමන්වෙල්ත් බැංකුවේ, ‘ලංකා කවය’ නමෙන්. ඒක පාවිච්චි කරන්න පුළුවන් අයගෙ ලැයිස්තුවට මම ලලිත්ගෙ නම එකතුකරා… ඒකට නීලගෙයි මලික්ගෙයි නම් එකතු කරන්න පුළුවන් ඕනනම්… ලංකා කවයේ රිසර්ච් වලට පාවිච්චි කරන්න එතන සල්ලි තියනවා - ටෙලිෆෝන් ගාස්තු, තැපැල් ගාස්තු, ලියකියවිලි කොපි කරන ගාස්තු… මෙකී නොකී වැඩ වලට ඒ සල්ලි පාවිච්චි කරන්න පුළුවන්… හිතන්න එපා මේ මම තනියම කරන දෙයක් කියලා - කීප දෙනෙක් මේකට දායක වෙනවා. මේ ගිනුමේ අරමුණ බ්රිස්බන් කට්ටියගෙ ගවේෂණ දිගටම කරගෙන යෑම… වෙන කිසිම අරමුණක් නෑ… මොකද කියන්නේ?”

අපි තුන්දෙනා ගොළුවුනා. මේ සම්පූර්ණෙන්ම බලාපොරොත්තු නැති දෙයක්. ඉස්සරවෙලාම කතාකළේ නීලටයි මටයි වඩා ජීවිත අත්දැකීම් ඇති මලික්.

“තැන්ක්යූ හැර වෙන දෙයක් කියන්න අමාරුයි… සල්ලි වලටත් වැඩිය අපිට වටිනවා මෙතන කෙරුන වැඩටික අගයක් ඇති බව දැන ගැනීම… මම මෙතන අලුත්ම සාමාජිකයා - මගෙ නම ගිනුමට එකතු කරන්න එපා - ඒකට ලලිත් තමා උචිත…”

ඒ සැරේ නීලත් කතාකළා.

“මලික්ගෙ වචන මමත් ස්ථිර කරනවා - ගිනුමට ලලිත්ගෙ නම ඇති… තැන්ක්යූ සුරාජ්!”

ඒ සැරේ සුරාජ් නැගිටලා කුස්සියට ගියා. මමත් ඒ පිටිපසින් ගියේ සුරාජ්ට කෝපි එකක්වත් ඕනැද කියලා අහන්න. නමුත් එයා කුස්සියේ තියා තිබුන එයාගෙ මල්ලෙන් පොඩි බෝතලයක් එලියට ගත්තා.

“සොරි ලලිත්… මම දන්නේ නෑ මේක මෙතෙන්ට හරිද වැරදිද කියලා නමුත් මං කැමතියි අපි පොඩි බ්රැන්ඩි ශොට් එකක් ගන්න - අපෙ හමුවීමත් මගෙ සතුටත් සමරන්න… කමක් නැද්ද?”

මම පොඩි වීදුරු හතරක් සොයාගත්තේ කිසි දෙයක් නොකියා.

………………………………

මම ඒ සඳුදා වැඩට නොගොස් සරසවි භූමියේ පිහිටි කොමන්වෙල්ත් බැංකු ශාඛාවේ ලියපදිංචිවුනා. ලංකා කවය බැංකු ගිනුම පාවිච්චි කිරීමට අවශ්ය කටයුතු වලට සුරාජ් දීපු ලියුමත් මගෙ රියදුරු බලපත්රයක් සෑහුනා. නමුත් ගිනුමෙන් මුදලක් ගැනීමටවත් එහි තැන්පත්වී ඇති මුදල් ප්රමාණය දැනගැනීමටවත් මම පෙළඹුනේ නෑ.

අද නීලත් සරසවියට එන බව කියාතිබූ නිසා මම බැංකු රාජකාරි අවසන් කිරීමෙන් පසු කැන්ටිමේ නැවතුනා ඈ එනතුරු. නීලා ආවේ මලිකුත් එක්ක.

“මලික්ටත් අද වැඩ නෑ?”

“මම ගිය සිකුරාදා ලොක්කට කතා කරලා අද වෙනුවට සෙනසුරාදා වැඩ කරන්න සෙට් කරගත්තා… අද වැදගත් වැඩක් තියෙනව කියලා”

“බොරු වැඩක්?”

ඒකට උත්තර දුන්නේ නීලා.

“මලික් ආවේ මගෙ සපෝට් එකට. දැන් මට ඉන්ටවිව් එකක් තිබුනා රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් වෙන්න සයිකොලොජි ඩිපාට්මන්ට් එකේ…”

“නියමයි! කොහොමද ඉන්ටවිව් එක?”

“නරකම නෑ… ටෙක්නිකල් ප්රශ්න අමාරු නෑ - මගෙම ෆීල්ඩ් එකේ. නමුත් මම ඉගෙනගත්තේ එහෙම කොහෙද කියලා අහුවහම තමා හිරවුනේ! මට ඇත්තටම ඇඬෙන්න ආවා ඒ වෙලාවේ. මාව ඉන්ටවිව් කරපු ගෑනිට පවු හිතෙන්න ඇති, මට කියන්න බැරි ගෙදර ප්රශ්න ඇති කියලා. ඒ ගැන ආයෙ ඇහුවෙ නෑ… හැබැයි මගෙ ඇකඩමික් ඉතිහාසේ කියන්න බැරි නිසා රස්සාව හම්බවෙයිද දන්නෙ නෑ…”

“එහෙම කියන්න එපා - උන්ට ඕනෑ වැඩේ හරියට කරගන්න මිස නීලා ගැන දැනගන්න නෙවෙයි… කවද්ද දැනගන්නේ රස්සාව හම්බවුනාද නැද්ද කියලා?”

“අද දවල් නෝටිස් බෝඩ් එකේ දානවා කිව්වා…”

අපි තීරණේ කරා කැන්ටිමෙන් මොනවත් කාල බීලා නීලගෙ රස්සාව ගැනත් දැනගෙනම ගෙදර යන්න. ඒක මටත් හොඳ අවස්ථාව, පාපුවා නිව්ගිනි පාස්පෝට් ගැන ජෝ කෝපා කියපු දේ ගැන විස්තර සහිතව කතාකරන්න.

…………………………

සඳුදා උදේ නවයට විතර මට කන්තෝරුවට කෝල් එකක් ආවා. ලක්මිණි දොර ලඟට ඇවිත් මට කතා කරා.

“ලලිත්ට පිට රටින් කෝල් එකක්… පීටර් කියලා කෙනෙක්”

පීටර්ගෙ කට හඬේ ඔස්ට්රේලියානු උච්චාරණය නිසා මගෙ සිතිවිලිත් කෙලින්ම බ්රිස්බන් ගියා. නුවර ඉන්න මට ඒ ඔස්ට්රේලියානු හඬ අමුතුවුනත් විනාඩියකින් පරණ හුරුපුරුදුව මතුවුනා.

“ග්ඩේ!”

ඔස්ට්රේලියානු ආචාරයක් - සුභ දවසක් (ගුඩ් ඩේ) යන්න කිව්වේ එහෙමයි. පීටර්ට හිනා ගියා.

“මං හිතුවේ ඔස්ට්රේලියන් බාසාව අමතක වෙලා ඇති කියලා!”

“අමතක නැතිවුනාට පාවිච්චියක් නෑ…. ඉතින් කවද්ද එන්නේ?”

අපි විනාඩි විස්සක් විතර කතා කරා. මිනිහට සෑහෙන වියදමක් යන්න ඇති කෝල් එකට.

ජම්බුගහ යට බංකුවේ වාඩිවෙලා දහය හමාරට තේ එකක් බොන වෙලාවේ පීටර්ගෙ ගමන ගැන ජයේටයි ලක්මිණිටයි කිව්වා.

“මෑන් බ්රිස්බන්වල මගෙ හොඳම යාළුවා. එංගලන්තේ යන ගමන් සතියකට ලංකාවට එනවා එන සතියේ සිකුරාදා රෑ- තව දවස් එකොලහකින් … මං හිතුවේ ජයේගෙන් සතියක් නිවාඩු ඉල්ල ගන්න, පොරට ලංකාව ටිකක් පෙන්වන්න… ඒක ප්රශ්නයක් වෙයිද?”

ජයේ කෙලින්ම උත්තර දුන්නෙ නෑ. ඒ වෙනුවට ප්රශ්නයක් ඇහුවා.

“මොකද්ද මිනිහගෙ ෆීල්ඩ් එක?”

“ජියලොජි කරාට භූ ජලය, ග්රවුන්ඩ් වෝටර්, තමා ස්පෙෂලයිස් කරන්නේ… ඒවගෙන් රිසර්ච් වැඩකට තමා මැන්චෙස්ටර් යන්නේ”

ජයේ ආයෙත් ටිකක් හිතුවා කතා කරන්න ඉස්සර.

“මං උඹට දවස් දෙකක් නිවාඩු දෙන්නම්… තව දවස් තුනක් පුළුවන්ද යාළුවත් එක්ක අපෙ ප්රොජෙක්ට් සයිට් කීපයක් බලන්ට? මිනිහට ගෙවන්ට අපිට සල්ලි නෑ… හැබැයි මගෙ කාරෙක අරගෙන ගියාට කමක් නෑ…:

මේ සැලැස්ම හොඳද නරකද කියලා තීරණයක් ගන්න අමාරුයි. ගමනට වාහනයක් ලැබුනත් දවස් තුනක් වැඩපොලවල් වල රස්තියාදුව පීටර්ටවත් මටවත් ‘ලංකා සංචාරයක්’ වෙන්නෙ නෑ.

“කොහෙද ඔය කියන ප්රොජෙක්ට් සයිට්?”

ඒ සැරේ ජයෙයි ලක්මිණියි දෙන්නම හිනාවුනා.

“මං හිතුවේ සීගිරි පොලොන්නරු පැත්ත ඉන්ස්පෙක්ට් කරලා නුවරඑලිය හරහා ගාල්ල, හික්කඩුව එහෙම ඉන්ස්පෙක්ශන් දැම්මොත් හොඳයි!”

මට හිනා ගියා.

“මේ කොම්පැනිය දුවන හැටියට මට මෙහෙ කොච්චර කල් රස්සාවක් තියෙයිද… කොම්පැනිය වත් ඉතුරුවෙයිද… කියලා මට විශ්වාස නෑ!”

මගෙ කතාව යොමුවුනේ ලක්මිණිට වුනාට උත්තරේ ආවේ ජයේගෙන්.

“මේ පිනට දහමට කරන වැඩක් නෙවෙයි! මිනිහා එක්ක වරෙන් මෙහාට - මට පුළුවන් නේද මිනිහට කියලා පොත් කීපයක් ගෙන්න ගන්ට? දැන් ටෙක්නිකල් පොත් පිටරටින් ගෙන්න ගන්ට හරියට කල් යනවා… විස්කි බෝතලයක් තියෙනවානම් ආයෙ උඹ මට නය නෑ…”

දෙන්නටම ස්තුති කරනවා හැර මම මොනවා කරන්නද? දවල් කෑම වෙලාවේ මම මහ තැපැල් කන්තෝරුවට ගිහින් පීටර්ට කේබල් පනිවිඩයක් යැව්වා.

කාගෙන්වත් යමක් ඉල්ලන්න අකමැති මට ජයේට අවශ්ය පොත් හතර ගැන ලියන්න ටිකක් වෙලා ගියා. අන්තිමට පොත්වල නම් සඳහන් කරන්න ඉස්සර මම ලංකාවේ තාක්ෂණික පොත් සොයාගැනීමේ අපහසුව ගැන ඡේදයක් ලිව්වා. පාවිච්චි කරපු පොත් වුනත් කමක් නෑ කියලත් සඳහන් කරා. විස්කි බෝතල් කතාව ලිව්වේ විහිළුවක් හැටියට. ඒ සමගම ගුවන් තොටුපොලේදී පීටර් හමුවෙන බවත් අපි කෙලින්ම නුවර එන බවත් ලිව්වා. සෙනසුරාදා රෑ අපෙ ගමේ නැවතී ඉන් පසුව දවස් හතරක් පහක් රට වටා යන්න බලාපොරොත්තු වන බව ලීවේ ජයේගෙ ‘සයිට් ඉන්ස්පෙක්ශන්’ මතක් නොකර.

එදා රෑ මම අම්මට පීටර්ගේ පැමිණීම ගැන කිවේ පොලොස් ඇඹුල් වලටත් ඉඳිආප්ප වලටත් ඕඩරයකුත් එක්ක. මල්ලිට ආරාධනා කරේ නුවරට ඇවිත් අපි එකට කාරෙකේ ගමේ යන්නයි.

එදා මම නිදා ගත්තේ හරිම සතුටින්. නංගිගෙ රස්සා/මගුල් කටයුතු සතුටුදායක විදිහට ඉදිරියට යෑම වගේම කොම්පැනිය මට සලකන විදිහත් සතුටට කාරණයක්. ඒ වගේම පීටර් ලංකාවට ඒම මගෙ සතුටට කොත්පැළඳුවා.

……………………………..

සෙනසුරාදා රෑ කෑමට නීලා මට ආරාධනා කරා. අලුත ලැබුන රස්සාව නිසා නීලගෙන් ඉස්තරම් කෑම වේලක් මම බලාපොරොත්තුවුනා. මලික් බීර සපයන බව දන්න මම නීලට වයින් බෝතලේකුත් චොකලට් පෙට්ටියකුයි ගත්තා.

නීලා ලෑස්ති කරලා තිබුන කෑම මා හිතූ තරම්ම රසයි. කෑම මේසේ අපි ‘නැතිවූ ලංකාව’ ගැනවත් ලංකා කවයේ සිදුවීම් ගැනවත් කතාකළේ නෑ. ඒ වෙනුවට මලික් ඔහුගේ ජීවිතේ සිද්ධවූ හාස්යජනක අවස්ථා කීපයක් පණගැන්වුවා. මා නොහිතපු තරම් දක්ෂ ලෙස කතා ගෙතීමටත් ඒවා හොඳින් වචනයට හැරවීමටත් මලික් සමත්වුනා. මට ඒ වෙලාවේ හිතුනා ‘මලික් ඉන්න ගෙදරක හිනාවෙන් අඩුවක් නෑ’ කියලා. නීලටත් එහෙම හිතුන බව ඇගෙ මුහුණේ ඇඳුනු සිනාවෙන් පෙන්වුවා. දෙන්නා ඉතා කිට්ටුවෙන් වගේම සතුටෙන් ජීවත්වෙන බව පැහැදිලිව පෙනෙන්න තිබුනා. ඒ ගැන වචනයක් කියවුනේ අපි කෑමට පසුව් කෝපි කෝප්පයක් බොන වෙලාවේ.

මලික් කතා කරේ කෝපි උගුරක් බීලා මා දිහා කෙලින්ම බලාගෙන.

“නීලටයි මටයි ලලිත්ගෙන් අහන්න දෙයක් තියෙනවා…”

“නිවරැදිකාරයා, ස්වාමීනි!”

නමුත් ඒ දෙන්නා විහිළු උත්තරෙ පිළිගත්තෙ නෑ.

“මේක සීරියස් ලලිත්…”

“මොකද්ද මලික්?”

මලික් නීලා දිහා බලලා කතා කරේ.

“අපි දෙන්නට ඕනෑ අර පී එන් ජී මැන් කියපු මාර්ගෙන් එහෙ පාස්පෝට් ගන්න, පුළුවන් නම්”

මේක මා බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි. දෙන්නගෙ හැසිරීම නිසා මං හිතුවේ දෙන්නා බඳින්න ප්ලෑන් කරනවා කියලා. ඒක සම්පූර්ණෙන්ම වැරැදි නැති බව මලික්ගෙ කතාවෙන් තේරුනා.

“අපි අපෙ ජීවිත ගැන හිතලා බැලුවා… නීලට කෙසේ වෙතත් මේ පසුගිය කෙටි කාලේ මගෙ ජීවිතෙ හොඳම දවස් වගේ මට දැනුනේ - නීලා නිසා. නීලත් කැමතී මේ සම්බන්ධේ වෙනස් නොකර පවත්වාගෙන් යන්න… ඒ කියන්නේ කසාදයක් බැඳලා…”

මම පුටුවෙන් නැගිටලා දෙන්නට හෘදයාංගමව සුභ පැතුවා. මේ විවාහය යම් දවසක සිද්ධවෙන බව මම් ඉවෙන් වගේ දැනගෙන හිටියා.

“මට හරිම සන්තෝසයි… ඇයි ඉතින් ඔය ප්රවුර්තිය පී එන් ජී පාස්පෝට් කතාවකින් පටන්ගත්තේ?’

ආයෙත් කතාකළේ මලික්.

“අපි ටිකක් හොයල බැලුවා මේ ගැන ලලිත්… මෙහෙ කසාදයක් බඳින්න තමා ගැන හුඟක් විස්තර අහනවා - ඩ්රයිවින් ලයිසන් එකක් තිබිලා මදි… මට ඒකත් නෑ!”

මගෙ හිතේ කැකෑරි කැකෑරී තිබුන තව ප්රශ්නයක් මම ඒ වෙලාවේ එලියට දැම්මා.

“පී එන් ජී පාස්පෝට් එහෙම අරගෙන, කසාදත් බැඳලා ඉන්නකොට ලංකාව ආයෙත් තියෙන්න පටන්ගත්තොත්?”

ඒ සැරේ උත්තර දුන්නේ නීලා, ටිකක් හිතලා බලලා.

“ලලිත්… අපි දෙන්නට දැන් තියෙන ජීවිතේ හුඟක් වටිනවා… කියන්න බැරි තරම් සන්තෝසෙන් අපි ඉන්නේ… අපි කොහොමද මේ ජීවිතේ අතහරින්නේ, යම් දවසක් එන ලංකාවක් බලාපොරොත්තුවෙන්? මේක ලංකාව එපා කියන කතාවක් නෙවෙයි ලලිත් - මේක ඇත්ත ඇති හැටියට පිළිගැනීමක්. හිතලා බලන්න ලංකාව ආපහු ආවොත් මොකද වෙන්නේ කියලා - ලලිත් ගමේ ගිහින් දැන් මාස හයක් විතර. මලික් එයාගෙ යාළු ඉයන් එක්ක ‘ජොලියක් දාලා’ දැන් ආපහු ලංකාවට ගිහින්…. එතකොට මම? මම තවම පී එච් ඩී එකට වැඩ කරනවා… මලික් කෙනෙක් හම්බවෙලාවත් නෑ!”